දේශීය

13 ට පොහොට්ටුවේ සහය නැහැ

13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති රටක් වශයෙන් එහි ප්‍රමුඛතා හඳුනාගමින් කටයුතු කළ යුතු බව ඔහු තවදුරටත් අවධාරණය කර සිටියා.

කොවිඩ් වසංගතය සහ යුක්‍රේන- රුසියානු යුද්ධය ආදී තත්වයන්ගේ සෘජු ප්‍රතිඵලවලට මුහුණදීමෙන් අනතුරුව රට බංකොලොත් කිරීමේ අදහසින් ක්‍රියාත්මක කෙරුණු ඊනියා අරගලය හේතුවෙන් තවමත් රට යථා තත්වයට පත්වී නැති බව සාගර කාරියවසම් මහතා පවසනවා.

එමෙන්ම, මෙවැනි අවස්ථාවක 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවන  බවද ඔහු මෙහිදී සඳහන් කළා.     

“රටක් වැටිල තියෙන වෙලාවක ඒ රට අස්ථාවර කරන්න මාන බලන විදේශ බලවේග විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න පුළුවන්. අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ බලය බෙදීම පිළිබඳව යෝජනාවලිය කවුරුවත් ඉල්ලපු කාරණාවක් නෙවෙයි. ඒක පැත්තක දාල මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ආර්ථිකය. ආර්ථිකය ස්ථාවර කරල, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු  කරන්න කියල අපි ඉල්ලා සිටිනවා”.    

13 වන සංශෝධනය සම්බන්ධව පොදු ජන පෙරමුණේ ස්ථාවරය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රට බෙදීමට ලක් කරන, රටේ ඒකීය භාවය නැති කරන කිසිදු ක්‍රියාමාර්ගයකට පක්ෂයක් ලෙසින් ඔවුන් සහය නොදක්වන බවයි.

එමෙන්ම, එවැනි මතයක සිටින පුද්ගලයෙකුටද ඔවුන්ගේ සහය හිමි නොවන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට  සහ එහි නායකයන් වන රාජපක්ෂවරුන්ට බොරු චෝදනා කිරීම නවත්වා තමාගේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවද කාරියවසම් මහතා මෙහිදී  ප්‍රකාශ කළා.

මේ අතර, රජය කෙතරම් යහපත් දේ කළත් ජන මාධ්‍ය තුළින් ඒ සඳහා නිසි ඉඩක් නොලැබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

එමෙන්ම,  ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවටද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළා.

ඊට අදාළ දර්ශන පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button