දේශීය

අපරාධකරුවන් ගැන නිවැරදි පද්ධතියක් පොලීසිය සතුව නැහැ- දේශබන්දු තෙන්නකෝන්

අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. 

‘සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පොලිසියේ කාර්යභාරය’ මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

පසුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයකම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බවත් එවැනි දත්ත පද්ධතියක් පවතින්නේ නම් අපරාධකරුවන් සම්බන්ධයෙන් අවධානය දිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වාදෙන්නේ මේ වන විට පොලිසිය සතුව දත්ත පද්ධතියක් පවතින නමුත් එහි යම් යම් අඩුපාඩු පවතින අතර එම ගැටලු හේතුවෙන් අපරාධකරුවන් පොලිස් පරිපාලනයෙන් සැඟවී සිටින බවයි.

ඉදිරි මාස 3 ඇතුළත අපරාධ මැඬලීම වෙනුවෙන් විශේෂ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා හා පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් සඳහන් කළේ බන්ධනාගාරගතව සිටිමින් අපරාධ මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට බන්ධනාගාර තුළ සිටිමින් අපරාධ මෙහෙයවීමට ඇති අවකාශය මුළුමනින් ම නැති කිරීමට ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button