දේශීය

මහේස්ත්‍රාත්වරියට විරෝධය පළ කරමින් ‌ පොලිස් නිලධාරීන් වර්ජනයක

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ නඩුවලට පෙනී සිටින නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ ( 06) අධිකරණ කටයුතුවලින් ඉවත් වීම නිසා මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය විසින් කැඳවනු ලබන නඩු සඳහා පෙනී සිටින පොලිස් නිලධාරීන්ට සැකකරුවන් ඉදිරියේදී අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු බව කියන සිද්ධියක් පදනම් කර ගනිමින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි සියලුම පොලිස් නිලධාරීන් අධිකරණ කටයුතුවලින් ඉවත්වී ඒ පිළිබඳව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 1 වෙත ගොස් පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහන් කළේ, මාස කිහිපයක සිටම මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සැකකරුවන් ඉදිරියේ පොලිස් නිලධාරීන්ට අපහාස වන ආකාරයට බැණ වඳින බවත් එවන් තත්ත්වයක් තුළ පොලිස් නිල ඇදුමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොලිසියේ රාජකාරී කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

මේ පිළිබඳව මීට පෙර නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කළ අතර එයට විසඳුමක් නොලැබුණු නිසා ඊයේ උදෑසන 11.30ට පමණ අධිකරණ කටයුතු සිදු කරමින් පැවති අවස්ථාවේ අධිකරණ කටයුතුවලින් ඉවත්වූ බව එම පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

ඩයගම, ආගරපතන, තලවකැලේ, ලිඳුල, නානුඔය, පට්ටිපොළ, කඳපොළ යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් මෙසේ රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙකු සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවී සාකච්ඡා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button