විදෙස්

යළි ඇවිලුණ බංග්ලාදේශය

රජ​යේ රැකියා කෝටාවට විරෝධය පාමින් පැවති විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩ වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද සවස 6 සිට ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පෙරේදා (03) විරෝධතා ආරම්භ වූ බවයි එරට මාධ්‍ය වාර්තා ක​ළේ.

ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් දෙදින තුළ පුද්ගලයන් 90 ක් මිය ගොස් ඇති බවත් ඉන් 13 දෙනකු පොලිස් නිලධාරීන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මරණ ඩකා නගරය ඇතුළු නගර කීපයක වාර්තා වී ඇති බවත් විරෝධතාකරුවන් සිරාජ්ගාන්ජ් නගරයේ ඉනායත්පූර් පොලිස් ස්ථානයටද පහරදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ නගරවල පොලිසිය විරෝධතා මර්දනය කිරීමට යාමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.

ඇඳිරි නීතිය පනවමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රකාශ කර සිටියේ විරෝධතාකරුවන් දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් තවදුරටත් සිසුන් ලෙස සැලකිය නොහැකි බවයි.

ඔවුන් සිසුන් නොව රට අස්ථාවර කිරීමට උත්සාහ දරණ කඩාකප්පල්කරුවන් පිරිසක් බවයි ඇය පවසා ඇත්තේ.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රමුඛ රජය ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් හසීනා මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button