විදෙස්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට සහනයක්

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හමුවේ වීසා කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට නොගොස් සිටින මෙරට ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර අලූත් කිරීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර කියා සිටියේ, එසේම ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දීමටද එකඟ වී ඇති බවයි.

යුදමය වාතාවරණය හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම සහ ආහාර සුරක්ෂිතභාවයට අදාළව කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම, වීසා නොමැතිව සිටින සාත්තු සේවික සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහාද වීසා ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අනුව එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අද (24) සහ හෙට (25) සිදුවන බවයි නානාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.

එබැවින්, තාතාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ, දැනට වීසා බලපත් නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු ලබාදෙන ලෙසත් ගුවන් ගමන් බලපත්‍ර රැගෙන එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබාදී ලියාපදිංචි වන ලෙසයි.

මේ අතර, යුද ගැටුම් වලින් පලස්තීන සිවිල්වැසියන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මියගොස් තිබෙනවා.

එසේම, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට තබා ගත් ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකු මුදා හැරීමටයි පියවර ගනු ලැබුවේ.

මේ අතර, චීනය ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දැනුම්දී ඇති පරිදි සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.

එරට විදේශ අමාත්‍ය වැන්ග් යී සදහන් කළේ, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාමය ඇති කිරීම සඳහා තම සහය ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් බවට පිළිගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button