දේශීය

ගංවතුර බැස යාමත් සමඟ රෝග පැතිරීමේ අවදානමක්

ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පාලනය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැලඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකියි. ඒ නිසා ඔබ මී උණ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්න.”

මේ අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758කට අයත් පුද්ගලයින් 159,511 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 3ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආරක්ෂිත ස්ථාන 80ක පවුල් 2,433කට අයත් පුද්ගලයින් 10,361 දෙනෙකු රැඳී සිටින බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල වසා තැබුණු පාසල් අද යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අදාළ පාසල් වසා තැබීමට බලධාරීන් පියවර ගත්තා.

කෙසේවෙතත් මේ වන විට ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් පහවයාමත් සමග අදාළ පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම අවතැන්වූවන්ගේ කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button