දේශීය

භූමිතෙල් සහනාධාර බෙදාදීමේ දෙවන අදියර ඇරඹෙයි

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (12) ආරම්භ වුණා.

ඒ, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වන අතර, ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

චීන රජයෙන් ලබාදුන් මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස එක්දින ධීවර යාත්‍රා වෙත ලබාදීමට කටයුතු කළ බව, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාවක් තුල වුණත් අපි ධීවර ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙනවා. අපි මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000 කට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කරනවා. මෙම දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ විතරක් යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව ලබනවා.”

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන මිල හේතුවෙන් අධික ලෙස පීඩාවට පත්වූ මෙම ධීවරයන්ට මෙමගින් සහන සැලසීමක් සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා  කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button