ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්
ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා පවසන්නේ, ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු රෆා පිවිසුම හරහා අද (02) දහවල් ඊජිප්තුවට ළඟාවනු ඇති බවයි.
ශ්‍රී ලාංකික පවුල් 03කට අයත් පුද්ගලයින් 17 දෙනෙකුට ඒ සඳහා අවසර හිමිව තිබුණද ඉන් දෙදෙනෙකු පලස්තීනයේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳව ගාමිණී සෙනරත් යාපා මහතා දැක්වූ අදහස්,
“ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න ඊජිප්තු තානාපති කාර්යාලය වගේම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිතයි. ඒ හැරුණු විට ඊශ්‍රායලයේ මේ වනවිට විශේෂ තත්ත්වයක් නෑ ශ්‍රී ලාංකිකයින් ගැන.”
මේ අතර අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇති බව තානාපතිවරයා ප්‍රකාශ කළ බවද පැවසු ගාමිණි සෙනරත් යාපා මහතා, ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව පවසනවා.
ප්‍රහාරවලින් තුවාල ලැබුවන් සඳහා හා විදේශිකයින් සඳහා ඊජිප්තු ගාසා දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම විවෘත කිරීමෙන් පසු මේ දක්වා 400ක පමණ පිරිසක් එම පිවිසුම හරහා ඊජීප්තුවට පැමිණ ඇති බව සඳහන්.
විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 596 දෙනෙකුට එම පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බවයි වාර්තාවන්නේ.