විදෙස්

ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාට්‍යවල පෙනී සිටීම කාන්තාවන්ට තහනම්

තලෙයිබාන් රජය විසින් පනවා ඇති නව නීති යටතේ ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාට්‍යවල කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කර තිබෙනවා.

කාන්තා මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන් තිරය මත හිස් ආවරණ පැළැදිය යුතු බවට ද අදාළ නීති මඟින් නියෝග කර ඇති නමුත් එය කුමන ආකාරයේ ආවරණයක් විය යුතු ද සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

වාර්තාකරුවන් පවසන්නේ සමහර නීති අපැහැදිලි සහ අර්ථ නිරූපනයන්ට යටත් කර ඇති බවයි.

තලේබාන් සංවිධානය අගෝස්තු මැද භාගයේ දී ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගත් අතර ඔවුන් ක්‍රමයෙන් දැඩි නීති පැනවීම පිළිබඳ බොහෝ දෙනෙක් බියට පත් කර ඇති බව පැවසෙනවා.

එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ විගස තලේබාන් සටන් කාමීන් සිදු කරනු ලැබුවේ ගැහැණු ළමුන් සහ කාන්තාවන් පාසලෙන් බැහැරව නිවෙස් තුළ රැඳී සිටීමට නියෝග කිරීමයි.

1990 ඔවුන්ගේ පෙර පාලන සමයේ දී කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා කිරීම තහනම් වුණා.

මේ අතර කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත් පුලුල් නියෝජනයක් සහ දැනුමක් සහිත ආණ්ඩුවක් ඇෆ්ගනිස්තානය තුළ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි අවධාරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානය පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩෙබෝරා ලියොන් සදහන් කරන්නේ එවැනි ආණ්ඩුවක් පිහිටුවීම දිනෙන් දින ප්‍රමාදවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button