තරුෂි අද ඔලිම්පික් තරඟ බිමට
මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟයට අද (02) සහභාගී වීමට නියමිතයි.
ඒ, ඔලිම්පික් මලල ක්රීඩා ඉසව්වලදී මුලින්ම තරඟ බිමට පිවිසෙන ලාංකීය ක්රීඩිකාව ලෙසයි.
ක්රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්ව මූලික වටය තරඟ හයකින් සමන්විත වනවා.
තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරඟයටයි.
තරඟය මෙරට වේලාවෙන් රාත්රී 11.15 ට ආරම්භ වන අතර ප්රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්රී 7.45ට යි.
එමෙන්ම දර්ශන සහභාගි වන මීටර් 400 තරගය 4 වැනිදා රාත්රි 10.35ට හා හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ මේ 7 වැනිදා පස්වරු 1.55ට තරග බිමට පිවිසෙනු ඇති.
ඔලිම්පික් ක්රීඩා උලෙළේ වැඩිම අවධානයක් ඇති මලල ක්රීඩා වසන්තය ස්ටේට් ඩී ෆ්රාන්ස්හි ඊයේ ආරම්භ වූ අතර, එම ක්රීඩාංගණය ප්රංශයේ විශාලතම ක්රීඩාංගණය වනවා.
ක්රීඩාලෝලීන් 77,083කට අසුන්ගත හැකි මේ ක්රීඩාංගණය 1998 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ඉදිකරන ලද්දකි.
මෙහි අවසන් වරට 2003 ලෝක මලල ක්රීඩා ශූරතාවලිය පැවැත්වුණා.
ඔලිම්පික් තනි ධාවන ඉසව්වලට මෙවර ඔලිම්පික් උලෙළේ වට හතරක් ඇත. එනම් පළමු මූලික වටය, රිපීචේජ් වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟය ලෙසයි.
මෙලෙස මූලික වටයේදීම ඉවතට යන ක්රීඩක ක්රීඩිකාවන්ට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ‘රිපීචේජ් වටයේ’ දෙවැනි අවස්ථාවක් ලබා දීමෙන් මලල ක්රීඩක ක්රීඩිකාවන්ගේ අපේක්ෂා ඉහළ ගොස් ඇතැයි පැරිස් තරග සංවිධායකයන් පවසනවා.
මෙමඟින් ඉවතට යන ක්රීඩක ක්රීඩිකාවන්ට එකම ඉසව්වක අවස්ථා දෙකකදී තරග බිමට පිවිසීමේ සුවිශේෂී අවස්ථා උදාවනු ඇති.
තනි ධාවන ඉසව්වකට මූලික වට 6කින් අට දෙනා බැගින් තරගකරුවන් 48ක් සහභාගි වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තොරා ගැනීමට නියමිතයි.
එයින් හොඳම අට දෙනා අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
පළමුව මූලික වටයේ ජයග්රාහකයන් තිදෙනා බැගින් 18ක් අවසන් පූර්ව වටයට තෝරා ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපීචේජ් වටයේ’ යළි තරග කළ යුතු වනවා.
එයින් හොඳම කාලය වාර්තා කරන ක්රීඩකයන් 6කට අවසන් පූර්ව වටයේ දොරටු විවර කිරීමට කටයුතු යොදා තිබෙනවා.