දේශීය

පාසල් නිවාඩු කාලය අවසන් වීමට පෙර ගුරු පුරප්පාඩු පුරවයි

එළැඹෙන පාසල් නිවාඩුව අවසන් වීමට පෙර පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය හේතුවෙන් උපාධිධාරී ගුරුවරුන් 25,000ක් බඳවා ගැනීම මාස 9ක් තිස්සේ ප්‍රමාදව පවතින බවයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ,සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

නිවාඩු කාලය අවසන් වීමට පෙර පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් අනාදිමත් කාලයක සිට පළාත් මට්ටමින් පවතින ගුරු තුලනයට විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, එකම කලාපය තුළ ගුරු තුලනයක් පැවතීම කනගාටුදායක බවත් කොළඹ දිස්ත්‍රික්කය ගත් විට උතුරු කොළඹ තුළ ගුරු අතිරික්තයක් පවතින අතර, දකුණු කොළඹ තුළ ගුරු හිඟයක් පවතින බවයි.

එමෙන්ම දෙසැම්බර් මස අවසන් වන විට පළාත් අධ්‍යාපන ඇමැතිවරු, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ද, වෘත්තීය සමිතිද එක්කර දින දෙකක වැඩමුළුවක් පවත්වා අධ්‍යාපන පරිපාලනයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button