පෞද්ගලික බස් රථ හිමියන් මැදිහත්විමෙන් අබලන්වු මාර්ගය තාවකාලිකව ප්රතිසංස්කරණය කරලා
හැටන් සිට පොඩයිස් හරහා ඩයගම ප්රධාන මාර්ගය වසර 10 පමණ කාලයක සිට කිසිදු ප්රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකිරීමෙන් එම මාර්ගය මේවන විට වාහන ධාවනයට නුසුදුසු තත්ත්වය හේතුවෙන් මාර්ගය තාවකාලිකව ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු එම මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන් එක්ව අද (04) ආරම්භ කර තිබෙනවා.
මාර්ගයේ පොඩයිස් වතුයායේ සිට ඇල්බියන් වත්ත දක්වා කිලෝමිටර් 5 පමණ දුරක් වැසි ජලය නිසිලෙස ගලා නොබැසිම නිසා වැසි ජලය ප්රධාන මාර්ගය දිගේ ගලා මාර්ගය දැඩි ලෙස අබලන්වී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කරන බස් රථ සහ වාහනවල ගමන් ගන්නා මගීන්ගේ ජිවිත වලට දැඩි අවධානමක් පවතින නිසා මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් මුදල් එකතු කර වතු කම්කරුවන්ගේ සහය ඇතිව දැඩි ලෙස අබලන්වි ඇති ස්ථාන ප්රතිසංස්කරණ කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ, මාර්ගස්ථ ප්රවාහන අධිකාරියට අයත් එම මාර්ගයේ දිනකට පෞද්ගලික බස් රථ 10ක් සහ ලංගම බස් රථ 04 ක් ධාවනය කරන බවත්, මාර්ගයේ පවතින දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් බස් රථ සහ වාහන කිහිපයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබෙන බවයි.
ඒ හේතුවෙන් මගීන් කිහිපදෙනෙකු ජිවිතක්ෂයට පත්වි විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
බෝපත්තලාව , ඩයගම , ආගරපතන , මන්රාසි ඇතුළු වතු ගණනාවකට හැටන් සිට පිවිසිමට ඇති කෙටිම මාර්ගය වන්නේද හැටන් පොඩයිස් හරහාවු මෙම මාර්ගය බව පෞද්ගලික බස් රථ හිමියන් පවසනවා.
බස් රථ හිමියන් වැඩිදුරටත් පවසන්නේ, මැතිවරණ කාලයේදි මෙම මාර්ගය ප්රතිසංස්කරණය කරදෙන බවට දේශපාලඥයින් කොතෙක් පොරොන්දු වුවද ඔවුන් එය ඉටු නොකල නිසා සියළු දෙනා එක්ව මෙම මාර්ගය ප්රතිසංස්කරණය කරන බවයි.