දේශීය

ජාතික ජන බලවේගයට එරෙහි මෝසම කල් යයි

ජාතික ජන බලවේගය දේශපාලන පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ තීරණය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහ​තා විසින් ඉදිරිපත් කර තිබෙන මෝසම සහ ඊට අදාළ පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

නාගානන්ද කොඩිත්තුවක්කු මහ​තා ලේකම්වරයා වශයෙන් කටයුතු කරන විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම විසින් ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෙම මෝසම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම සහ මෝසම අද S. තුරෙයිරාජා , ශිරන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අදාල මෝසම ඉදිරිපත් කර තිබූ නාගානන්ද කොඩිතුවක්කු මහතාද අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ සුනිල් කුරේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය ඉකුත් 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙන බව පෙන්වාදී තිබෙනවා.

එමෙන්​ම ඔහුට මහජන සුභසාධන නඩුකරවලට ඉදිරිපත්වීමද අදාල නඩු තීන්දුව තුළින් තහනම් කර ඇති බව​ට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සමේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බව​ද සඳහන් කළා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්රවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව අදාළ මෝසම සහ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි.

කෙසේවෙතත් අදාළ මෝසම සහ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ඔක්තෝබර් මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග නිකුත් කළා.

එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහ​තා කියා සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය ප්‍රකාරව එකම පක්ෂයක විවිධ ශාඛා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීම මැතිවරණ නීති රීතීන්ට පටහැනි බවත් ඒ තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන අයිතිය උල්ලංඝනය වන අතර එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔ​හු අදාළ මෝසමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු මහ​තා එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button