දේශීය

මාර්ග සංවර්ධන අධිකාරියේ වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන්වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් අද (22) උදෑසන ආරම්භ කළ වර්ජනයක් නිසා අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් මෙන්ම මුදල් අයකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා තිබුණා.

අධිවේගී මාර්ග පිවිසුම්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සේවකයින් රැගෙන ගොස් තිබූ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රවලට හානියක් සිදුකර ඇත්නම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.

මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ 11,000ක් පමණවූ සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා අසනීප නිවාඩු වාර්තා කර තිබුණා.

ඊට හේතුව වන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට ආදායම් ලබන එකම ව්‍යාපෘතිය වන අධිවේගි මාර්ග පද්ධතිය මුදල් අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමකට පැවරීමට සහ හඳුන්වාදීමට නියමිත බඳවාගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම මෙන්ම 2023 වසරේ ලබා නොගත් නිවාඩු වෙනුවෙන් හිමිවන දීමනා ලබාදෙන ලෙස කළ ඉල්ලීමයි.

සිය ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම මත ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ඇති විධායක ඉංජිනේරු, පළාත් භාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති කාර්යාල සහ අධිවේගී මාර්ගවල සේවකයින් අද මෙලෙස වර්ජනයකට අවතීර්ණවී ඇති බව වර්ජනයේ නිරත ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව අද උදෑසන සිට දිවයිනේ සියලු අධිවේගී මාර්ගවල රාජකාරි කටයුතුවලින් සේවකයන් ඉවත්වී තිබුණා.

එවන් පසුබිමක අධිවේගී මාර්ග පද්ධතියේ ඇතැම් අන්තර් හුවමාරුවල ප්‍රවේශපත්‍ර නිකුත්කරන යන්ත්‍ර ඇතුළු උපකරණ සේවකයින් ගලවා ගෙනගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ සහ මුදල් අයකිරීමේ කාර්යයන් සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට රජය පියවරගෙන තිබෙනවා.

ඒ, දක්ෂිණ අධිවේගි මාර්ගයට යුද හමුදාවත් කටුනායකට ගුවන් හමුදාවත් මධ්‍යම අධිවේගි මාර්ගයට නාවික හමුදාවත් ලෙස බවයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button