විදෙස්

ශෙයික් හසීනා දේශපාලනයෙන් සමුගන්නා බව පුතු කිය​යි

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඇයගේ පුත්‍රයා වන සජීබ් ජෝයි ඇමෙරිකාවේ සිට NTT නාලිකාව සමග දුරකථන සංවාදයකට එක්ව තිබුණා.

එහිදී සිය මව නැවතත් දේශපාලනයට නොඑන බවත් බංග්ලාදේශය වෙනුවෙන් දශක ගණනාවක් පුරා තමන්ගේ පවුල කළ කී දෑ මෙතැනින් නිමාවන බවත් සජීබ් ජෝයි පවසනවා.

සිදුවූ සියල්ල පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමි​න් සජීබ් ජෝයි පවසන්නේ, තම මවට ධූරයේ රැදී සිටීමට තවදුරටත් අවශ්‍ය වී තිබුණු බවත් කිසිදු අවස්ථාවක ඇයට රටින් පැනව යාමට අවශ්‍යව තිබූ නොමැති බවයි.

නමුත් ඇයට ආරක්ෂාවක් නොමැති බවට දිගින් දිගටම තම මව ප්‍රකාශ කළ බවත් ඇයගේ ආරක්ෂාව ගැන සිතා ඇයව රටින් පිට කරගැනීමට පොළඹව ගත් බවයි ඔ​හු සඳහන් කළේ.

සජීබ් ජෝයි පවසන්නේ, පවුල නිදහස් සටනේ සිට බංග්ලාදේශය හා එහි ජනතාවගේ යහපත වෙනුවෙන් බොහෝ දේ කළ බවයි.

නමුත් ඒ සියල්ල මෙතෙකින් අවසන් වන බවත්, දැඩි ලෙස කළකිරී සිටින සිය මව නැවත දේශපාලන වේදිකාවේ දක්නට නොලැබෙනු ඇති බවත් ඔහු පවසනවා.

කෙසේවෙත​ත් ලක්ෂ සංඛ්‍යාත උද්ඝෝෂණකරුවන් ඊයේ බංග්ලාදේශ අගමැති මැදුරට කඩා වැදුන අතර, හිටපු අගමැතිනිය ධකා නුවරින් පලාගියා.

මහජන විරෝධතා හමුවේ ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගිය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ දී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා පෙරේ​දා (05) ඉන්දියාවේ ගාෂියාබාද් (Ghaziabad) හි හින්දොන් (Hindon) ගුවන් කඳවුරේදී අදාළ හමුව සිදුව ඇති බවයි.

එහිදී ඇය බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය සහ ඇයගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අජිත් දෝවාල් සමග සාකච්ඡා කර ඇති බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අසල්වැසි බංග්ලාදේශයේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉන්දියානු ගුවන් හමුදාව සෑම නැගෙනහිර අංශයකම සිය පිරිස් සීරුවෙන් තබා ඇති බවයි.

එපමණක් නොව ඇය හෙලිකොප්ටරයක් මාර්ගයෙන් ඉන්දියාවට පැමිණි පසු ඉන්දීය ගුවන් හමුදාව සහ අනෙකුත් ආරක්ෂක ආයතන ඇයට ආරක්ෂාව සපයා තිබෙනවා.

පවතින විරෝධතා මධ්‍යයේ ඩකා නුවරින් පිටත්ව ආ අගමැතිනි ෂෙයික් හසීනා, ඉන්දියාවට පැමිණීමෙන් පසු සිට මේ දක්වා දිල්ලියේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත ආරක්ෂාව ද තර කර ඇතැයි ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

මේ අතර සිරගතව සිටින එරට අගමැති​නී ඛලීඩා ෂියා ස​හ විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද වහා​ම නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් ජාතිය අමතමින් ප්‍රකාශ කළා. ​‍

බංග්ලාදේශ ජනාධිපති ජාතිය අමතන අවස්ථාවේදී ඔහු පිටුපස ත්‍රිවිධ නායකයින් රැදී සිටීම පිළිබඳවත් මාධ්‍ය දැඩි අවධානය යොමු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button