සඳුදා බෙංගාල බොක්කේ කැලඹුම්

බෙංගාල බොක්ක ආශ්‍රිතව ලබන 13 දා පමණ වන විට කැලඹිලි සහගත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත්, එනිසා රට පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් සහ ඉන්දියාවේ සිට පැමිණෙන දූවිලි අංශුවල වැඩි වීමක් හේතුවෙන් මීදුම් තත්ත්වයක් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු අද (11) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින සඳහා කාලගුණ අනාවැකි නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව අද (11) ඊයේට (10) සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩුවීමක්ද හෙට (12) වැසි තත්ත්වයේ වැඩි වීමක්ද බලාපොරොත්තුවන බවයි වාර්තාවනේ.
ඊයේ (10) දහවල් වන විට දැදුරු ඔයේ වාන් දොරටු අටක් විවෘත කර තිබුණා.
එමඟින් තත්පරයට ඝන අඩි 17,000ක ධාරිතාවෙන් ජලය පහළට ගලා යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එබැවින් දැදුරු ඔයේ දෙපස ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එහි අධ්‍යක්ෂ ඉංජිනේරු S.P.C සුගීශ්වර මහතා පවසනවා.
මෙම තත්ත්වය පිළිබඳ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චි කට්ටුව, රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දැදුරු ඔය දෙපස පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළා.
වෙහෙරගල ජලාශයේද වාන් දොරටු පහක් ඊයේ දහවල් වනවිට විවෘත කර තිබුණා.
එම හේතුවෙන් මැණික් ගඟේ ජලය ඉහළ අගයක පවතින අතර එබැවින් කතරගම දේවාලයේ කටයුතුවලට සම්බන්ධ වන බැතිමතුන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඉංජිනේරුවරයා සඳහන් කළා.
උඩවලවේ ජලාශයේද ඊයේ දහවල් වන විට වාන්දොරටු තුනක් විවෘතව පැවතුණ අතර එබැවින් එම ගඟේ ජල මට්ටමද ඉහළ මට්ටමකද , තවත් ජලාශ ගණනාවක් වාන් දමමින් පවතින බව සඳහන්.
ලුණුගම්වෙහෙර ජලාශයේද අද (11) උදෑසන සිට වාන් දොරටු විවෘත කිරීමට නියමිතයි.
ඒ හේතුවෙන් කිරිඳි ඔයේ ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින අතර නිල්වලා ගංගා ද්‍රෝණිය සහ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අද (11) දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ දිනවල පවතින වර්ෂාවේ ස්වභාවය නිසා යම් යම් ප්‍රදේශවල කෙටි කාලයක් තුළ අධික වර්ෂාව ඇති විය හැකි බවත් බස්නාහිර, මධ්‍යම, වයඹ පළාත්, ගාල්ල මාතර දිස්ත්‍රික්වල මේ තත්ත්වය දක්නට ලැබිය හැකි බවත් ඉංජිනේරු සුගීශ්වර මහතා සඳහන් කළා.
එනිසා ඇති විය හැකි ක්ෂණික ගංවතුර තත්ත්වයන් පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතුවනවා.
විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසනවා.