දේශීය

ආරුගම්බේ ප්‍රහාර සැලසුමක් සම්බන්ධයෙන් දෙන්නෙක් අත්අඩංගුවට

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසින්.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක්.
            
එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයක්ද වනවා.

එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා. 

අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවටයි ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබෙන්නේ.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මඟින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී තිබෙනවා.

එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.

එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණා.

පොලිස් මූලස්ථානය පවසන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. 

එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අද දැනුම් දුන්නා.

ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මඟින් ඔවුන්ට දැනුම් දී තිබුණා.

මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button