මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙකට ගැටෙයි
මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර රාජකීය මැලේසියානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි.
එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර මෙම හෙලිකොප්ටර් යානා දෙක මැලේසියාවේ ලුමුට් නගරයට ඉහළ ගුවනේදී ගැටී අනතුර සිදුව තිබෙනවා.
එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තාවන්නේ.
එලෙස අනතුරට පත්ව ඇත්තේ HOM M503-3 වර්ගයේ හෙලිකොප්ටරයක් හා Fennec M502-6 වර්ගයේ හෙලිකොප්ටරයක්.
අනතුර සිදුවන අවස්ථාවේ දී HOM M503-3 යානය තුළ පුද්ගලයන් 7 දෙනෙක් ද Fennec M502-6 යානය තුළ පුද්ගලයන් තිදෙනෙකු ද වූ බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ නමුත් එම මාධ්‍ය වාර්තා සැක පළ කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ දී අදාල යානාවන් දෙකෙහි සිටි කිසිදු අයෙක් දිවි බේරා ගැනීමට සමත් වී නැති බවයි.