දේශීය

තවත් අමාත්‍යවරු දෙන්නෙක් ඡන්දෙට නොඑයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි වූ බවයි.

රට හා ආර්ථිකය ස්ථාවර වූ විට එහි ප්‍රතිලාභ ජනතාවට හිමි වනු ඇති නිසා ජනතාව විසින් එය අවබෝධ කර ගැනීමට සමත්වනු ඇතැයි තමා විශ්වාස කළ බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

නමුත් රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්‍රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව තමා විශ්වාස කළ බවත් එය මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ බවත් ඔහු එම ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා එම ලිපිය මගින් දන්වා ඇත්තේ, මේ හේතුවෙන් පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බවයි.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මහ මැතිවරණයට තරඟ නොකරන බවට  නිවේදන නිකුත් කර තිබෙනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය දී ලක්ෂ 22ක ඡන්දයක් ගෑස් සිලින්ඩර් ලකුණින් තරඟ කර ලබාගත් අතර, මෙවර එම ලකුණින්ම තරඟ කළහොත් සැබෑ එජාප අපේක්ෂිකයන්ට අසාධාරණයක් වනු ඇති බවයි.

එමෙන්ම තමා දූෂණයට හෝ දූෂිත පුද්ගලයින්ට සම්බන්ධ නොවී ගාමිණී දිසානායක පදනමේ ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සහ මහවැලි සංස්කෘතික භාරයේ සභාපති ලෙස තවදුරටත් සේවය කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට සමාජීය වගකීම ඉටුකරමින් සහ අයුක්තිය අසාධාරණය, දූෂණය වෙනුවෙන් නීතිඥවරයෙක් ලෙස මෙරටට සේවය කරමින් උපරිමයෙන් කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button