එන්න, අගමැති ගියාට පස්සේ මොකද කරන්නෙ කියලා අපි කතා කරමු – ජනපති
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙසයි.
ඒ අනුව අදාළ සාකච්ඡාවේදී වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාලසීමාව, එහි වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබදව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේද ස්ථාවරය වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාද ඉවත්විය යුතු බවයි.
ලිපිය මගින් පක්ෂ නායකයන් වෙත දැනුම්දී ඇත්තේ මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා විශේෂ හමුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා මෙලෙස ලිපි පලකරද්දීත් අග්‍රාමාත්‍යවරයා නැවත නැවතත් පවසන්නේ තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන බවයි.
රාජපක්ෂ පවුලේ මෙම බලපොරය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ජනරජය දිනෙන් දින අගාධයට යමින් පවතිනවා.
මේ වන විටත් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති අතර රටේ උද්ධමනය ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා.